අවුරුදු 24ක් පරණ වාර්තාවක් කඩලා මගේ වාර්තාවක් තිබ්බා -  සෙතුමි දහම්සා, රත්නපුර

අවුරුදු 24ක් පරණ වාර්තාවක් කඩලා මගේ වාර්තාවක් තිබ්බා - සෙතුමි දහම්සා, රත්නපුර

2021.11.27

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍රයේ  අනාගතය ජයග්‍රහණ රැදිලා  තියෙන්නේත් අපේ කනිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතේ, ඉතින් ඔවුන්ගෙන් නිවැරදි ප්‍රයෝජන ලබගන්නටනම් වග කිවයුත්තන්ගේ මෙන්ම සමාජ අවධානයද ඔවුන් වෙත ලබාදිය යුතුයි, Crysbro Next Champ අපගේ නිෂ්පාදන කණ්ඩායමේ අරමුණ වන්නේද එයයි, ඉතින් දක්ෂයන් සොයායන ගමනේදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපට හමුවුන දක්ෂයා ගැනයි මේ සටහන

ඔබගේ නම?
මම සේතුමි  දහම්සා කහංගම

ඔබගේ පාසල?
මම රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා, ලබන වසරේ අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයට මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

පදිංචිව සිටින්නේ?
දැනට පදිංචිව සිටින්නේ නිවිතිගල

ඔබගේ පවුල ගැන පොඩි විස්තරයක් කලොත් 
මගේ ගෙදර මමයි අප්පච්චියි අම්මයි මල්ලියි ඉන්නේ, අප්පච්චි තමයි මගේ ක්‍රීඩා ජීවිතයට ගොඩක් උදව් කරන්නේ මොකද එයත් ක්‍රීඩා කරපු කෙනෙක්, මගේ මල්ලි තාම ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන්නේ එයත් මේ වෙනකොට ක්‍රීඩාවට යොමුවෙලා ඉන්නවා.

ඔබ මොන ක්‍රීඩා ඉසව්වෙන්ද දස්කම් දක්වන්නේ? 
මගේ ප්‍රධානම මලල ක්‍රීඩා ඉසව්ව මීටර් 100 කඩුලු මතින් දිවීම

ඒ කියන්නේ ඔබ ක්‍රීඩාවට පිවිසුනේ කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන්?
නැහැ මම මුලින්ම කලේ කඩුලු මතින් දිවීමේ ඉසව්ව නෙමෙයි පොඩිකාලේ මීටර් 100 ඉසව් වලට සහභාගී වුණා ඊටපස්සේ මගේ ප්‍රධාන පුහුණුකරු B.R   පාලිත ගුරුතුමන් තමයි මාව කඩුලු මතින් දිවීමේ ඉසව්වට යොමුකළේ.

අද වෙනකොට ලබාගත්ත ජයග්‍රහණ ගැන සදහන් කලොත් 
විශේෂයෙන්ම 2017 සමස්ථ ලංකා මලල ක්‍රීඩා උළලේදී මීටර් 80 කඩුලුමතින් දිවීමේ ඉසව්වෙන් නව වාර්තාවක් සමග රන් පදක්කමකට හිමිකම් කිව්වා
ඒ වගේම එම වසරේ කනිෂ්ට ජෝන් ටාබට් ක්‍රීඩා උළලේදී මීටර් 80 කඩුලුමතින් දිවීමේ ඉසව්වෙන් අවුරුදු 24ක් පැරණි වාර්තාවක් බිදදමමින් මගේ නව වාර්තාවක් පිහිටවන්නත් හැකි වුණා
ඒ වගේම 2018 වසරේ කනිෂ්ට ජෝන් ටාබට් ක්‍රීඩා උළලේදී මීටර් 80 කඩුලුමතින් දිවීමේ ඉසව්වේ තරග වාර්තාව සමකිරීමට හැකි වුණා
ඒ වගේම 2018 සමස්ථ ලංකා  මීටර් 100 කඩුලුමතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කමත් දිනාගැනීමට හැකියාව ලැබුනා